03/08/2025
ගොළු හදවතේ සැබෑ පෙම්වතුන්
ගොළු හදවත එදවස ජනප්‍රිය වූ නවකතාවකි. යුගයක යෞවන යෞවනියෝ මෙහි එන දම්මිගේ හා සුගත් ගේ සිහින ලෝකවල ජීවත්වූවෝ වෙති. ප්‍රේමයෙන් ආතුර වූවන්ට නවකතාවේ “ගොළු හදවත” යන නාමය පවා පෙම් කවක් බඳු විය. මෙහි එන දම්මිගේ හා සුගත් ගේ කල්පනා ලෝකයේ සැරි සැරීමට සිසිර සේනාරත්න හා ඉන්ද්‍රානි විජේබණ්ඩාර ගායනා කළ නුහුරු නුපුරුදු රහස පිළිබඳ ගීතය ද අනුබලයක් විය. ගොළු හදවත චිත්‍රපටයක් බවට පත් වූ විට දම්මිගේ චරිතයට පණ දුන්නේ අනුලා කරුණාතිලකයි. පසුගිය දා අප අතරින් සමුගත් වික්‍රම බෝගොඩ, සුගත්ගේ චරිතයට පණ පෙවී ය. නව කතාව සැබෑ ලෝකයත් කල්පනා ලෝකයත් යන දෙකම එකසේ මුසුව රසහව් මතුකරන්නකි.
කරුණාසේන ජයලත් ලියූ ගොළු හදවත නවකතාවට වස්තු විෂය වූ එක් සත්‍ය කතා පුවතක් ද පවතී. එය ගොඩ නැඟී ඇත්තේ රයිගම් කෝරළේට අයත් හොරණ තක්ෂිලා විදුහල කේන්ද්‍ර කරගෙන ය. තක්‍ෂිලාව හොරණ හා ඒ අවට පොකුණුවිට ආදී ගම්බිම්වල සොබා සෞන්දර්යය ද මෙහිදී අපූරුවට චිත්‍රණය වෙයි. තක්සලාවේ එකම පංතියේ සිප් සතර හැදෑරූ දම්මිගේ ලෝකයේ ජීවත් වූ සැබෑ ප්‍රේමවන්තයා මට නොබෝදා ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර දී හමුවීමේ වරම ලැබුණි. ඔහු අද මෙල්බර්න් නුවර වැඩිහිටි නිවාසයක හුදකලාව වාසය කරයි. ගොළු හදවතේ එන දම්මිගේ නොයිදුල් ප්‍රේමයට හිමිකරුවා වූ මොහු කාලාන්තරයක් තිස්සේ අප ඇසුරු කළ ඩී. බී. කුරුප්පු මහතා යි. ඩී. බී. කුරුප්පු නව කතාකරුවෙකු කෙටි කතා කරුවෙකු කෘතහස්ත විචාරකයකු වශයෙන් ද රසික ජනයා හඳුනාගෙන සිටිති.
හුදකලා වූ කුඩා කුටියක කවුළු දොරින් එළිය බලා සිටින ඔහු මා දුටු සැණින් පැවසූ පළමු වදන වූයේ “මා අද ලෝකය දකින්නේ කුටියේ මෙම කවුළුවෙන් පමණක් බව ය.” දැනට වසර කීපයකට පෙර 2008 වසරේ දී මා මෙල්බර්න් නුවරට පැමිණි අවස්්ථාවේ දුටු ඔහුගේ රූපකායේ කිසියම් ෙවනස් ස්වරූපයක් මේ වන විට දක්නට ඇත. 2008 වසරේ මෙල්බර්නයේ දී මා පැවැත් වූ දේශන මණ්ඩපයේ මුලසුන හෙබ වූයේ මෙම වියතාණෝ ය. මගේ මල් පෙරහර ළමා ගීත පොත ද මෙහි දී එළිදැක්වුණි. ඔහු මගේ නිර්මාණ ගැන මෙන්ම “මල් පෙරහර” ගැන ද දැක්වූ විවරණය මා ගැන ම මට ප්‍රතිවිවරණය කිරීමට මඟ පාදන්නක් විය.
පතිරූපදේශ වාසයක් යයි සිතා ඔහු ඕස්ට්‍රේලියාවට පැමිණීමට පෙර වාසය කළේ මා පදිංචිව සිටින මායා මාවතේ එක් කෙළවරක ය. එදවස බිරිඳ සහ දූ දරුවෝ දෙදෙනෙක් ද ඔහුගේ කුටුම්බය ඇතුළත ජීවත් වූහ. මෙදවස ඔවුන් කිසිවෙක් ඔහු අසලක නොමැත.
ආගිය තොරතුරු ඇසීමෙන් අනතුරුව තරුණ වියේ දී අප මනස ද මෝහනය කළ ගොළු හදවතේ වින්දන මූලය සෙවීමට කුරුප්පු මහතා ගෙන් අනේකවිධ ප්‍රශ්න ඇසීමට මම උත්සාහ කළෙමි. “ඔබ ඔය සූදානම් වන්නේ කුමකට ද යන්න මම දන්නව” යැයි එසැණ පැවසූ මෙම නිර්ව්‍යාජ නිර්මාණකරුවා “ඕනෑම දෙයක් අහන්න මට සඟවන්න දෙයක් නැහැ” යනුවෙන් නුපුරුදු මෘදු ස්වරයෙන් පැවසී ය.
ලද අවසරයෙන් මම ඔහුගෙන් ඇසූ පළමු ප්‍රශ්නය වූයේ ගොළු හදවතේ එන ඔබට පෙම්බැඳී සැබෑ දම්මි කවුද? යන්න යි. ඇය “තක්සලාවේ කරුණාසේන ජයලත් හා මා සමඟ ඉගෙන ගත් යුවතියක්. පද්මා නාලිනී කුරුප්පු ඇගේ නමයි.” ඇය එදවස පාසලට පැමිණියේ රයිගම් කෝරළේ පිහිටි “කඳන” ගම්මානයේ සිටයි. සුදු ගවුමෙන් සැරසී, වෙලෙන් නියරෙන් පැන රබර් වතු පසුකර අරුණැල්ලේ ඈ පාසලට ආ ගමන ඔහුගේ සිතේ ඇඳි වදනට නොනැගු කවියක් බඳු ය. අප මෙතැන දී ගොඩ නඟන කතාවේ කතා නායකයා වන දොන් බෝල්වින් කුරුප්පු මහතාට පාසල මෙන් ම තම පෙම්වතිය ද හැර යාමට සිදුවී ඇත්තේ සරසවි ප්‍රවේශය සමත් වීමත් සමඟ ය.
මද නිහඬ විරාමයත් සමඟ මසිත් හි දෝංකාර නැෙඟන්නට වූයේ මෙවන් ප්‍රිය විප්‍රයෝගයක සැමරුම් මතු කරන සෝමතිලක ජයමහ මහතා ගායනා කරන ගීතයකි.
“පියමන් කෙරුවෙමු මහ වෙල් මැද්දෙන්
පෙම් බස් දෙඩුවෙමු උයන් කොණෙක හිද
ශිල්ප උගත්තෙමු නැණ ලැබ ගත්තෙමු
දෙපා වාරු නැහැ ඔබ හැර යන්නට
පෙම්වතා හන්තාන කන්ද නැග ගන්නවාත් සමඟ පෙම්වතිය කඳන ගම් පියස තනි විය. ගොළු හදවතට මුල්වූ ත්‍රිකෝණ පෙම් පවතක කතාව කුරුප්පු මහතා ලියූ හැන්දෑවට පායන හිරු කෘතියෙන් එළිදරව් කර තිබේ.
යොවුන් වියේ දී ප්‍රේමාතුර වූ ඔහුගේ උප විඥානයේ දම්මි තවමත් සක්මන් කරන්නා සේ හැඟේ. පාසල් සීනුව නාද වනවාත් සමඟ වෙල් නියරෙන් අඳුරු සෙවණැලි මතු කළ රබර් වත්තෙන් දඟකාර ගමනින් ඔහු ගේ මතක විමන් කවුළු දොර අසලට දම්මි දිව එන්නා සේ ය. වරෙක කිසිත් නොදොඩා දුකට මිහරදෙන පාලුව, තනිකම වැළඳගෙන කවුළුවෙන් එළිය බලා සිටින්නේ ඈ එන පෙරමග විය හැකි ය.
ඩී. බී. කුරුප්පු මහතා පේරාදෙණි සරසවියේ මුල් ශිෂ්‍ය කණ්ඩායමට අයත් වූවෙකි. යුගයක පේරාදෙණි සරසවි සිංහල සමිතියේ සභාපති වශයෙන් ද කටයුතු කර ඇත.
අත්සන, පෙත්සම නවකතා ලියූ පරිණත ලේඛක ලීල් ගුණසේකර මහතා, දොන් බෝල්වින් කුරුප්පු හඳුන්වන්නේ සිංහල සමිතියේ සිටි හොඳ සභාපතිවරයෙකු ලෙසය. ලීල් ගුණසේකර මහතාත් කුරුප්පු මහතාත් 1952 වසරේ දී පේරාදෙණි සරසවියේ එකම ශාලාවේ නේවාසික ශිෂ්‍යයෝ වූහ.
කිසියම් දවසක හදවත ගොළුකර ගත් දම්මි ඉරණමට නතුව කාලයාගේ ඇවෑමෙන් කළුතර කච්චේරියේ සේවය කළ ගුණරත්න නැමැති සමාජ සේවා නිලධාරියෙකු සමඟ විවාහ වී තිබේ. මෙම විවාහයට සාක්ෂිකරුවෙකු වශයෙන් අත්සන් කර ඇත්තේ එදවස කච්චේරියේ අතිරේක දිසාපති වූ ලීල් ගුණසේකර මහතායි. මෙම විවාහයේ දෙවන මනමාලයා ලෙස ද තමා පෙනී සිටි බව ගුණසේකර මහතා පවසයි.
පද්මා නාලිනී (කතා වස්තුවේ දම්මි) මෙකල වාසය කරන්නේ කොළඹ කොල්ලුපිටිය ප්‍රදේශයේ ය. හුදකලා කුටියක වෙසෙන කුරුප්පු මහතාට දම්මි සති දෙක තුනකට වරක් දුරකථනයෙන් අමතන බවක් ඔහු ඉතා හැඟීම් බරව මා සමඟ පැවසීය.
ඔහු මුවින් ඔහුටත් නොදැනීම පිටවුණේ මෙම සබඳතාව සාංසාරික පුරුද්දක් බව ය. දම්මිගේ ප්‍රේමය අද ආධ්‍යාත්මික ප්‍රේමයක් සංකේතවත් කරයි.
ඔහු පසුගිය 2008 වසරේ ශ්‍රී ලංකාවට ගිය අවස්ථාවේ දී ද දම්මි හමුවී තිබේ. පද්මා නාලිනි (දම්මි) “කඳන” කුරුප්පු වෙද මහතා ගේ් දියණියකි. ඇය තම මිණිපිරිය බැලීමට ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවරට පැමිණ තිබේ. මෙල්බනයේ සිට දුර ගමනක යෙදී සිඩ්නි නුවර දී ඇය බැහැදුටු අවස්ථා ද කුරුප්පු මහතාගේ අතීත සැමරුම් අතර ගැවසෙයි.
ඕස්ට්‍රේලියාව අද වන විට ලක්‍ෂ ගණනක ශ්‍රී ලාංකිකයන්ගේ වාස භූමියව පවතී. පවුල කුටුම්භය පිළිබඳ ව වඩාත් හැඟුම්බරව කටයුතු කරන්නෝ ද මෙහි වෙසෙන ශ්‍රී ලාංකිකයින් අතර විරල නොවෙති. ඔවුහු වඩාත් සැනසිලිදායක ප්‍රාර්ථනා බර ලෝකයක ජීවත්වන්නෝ වෙති. මේ අතර ප්‍රිය විප්‍රයෝගය හා ළතැවුල අතර ජීවත් වන්නෝ ද මෙහිදී කොතෙකුත් මට හමු වූහ. තම බිරිඳට හෝ මවට කොතෙක් ආදරය කළත් ඔවුන් මහලුව ගිලන්වූ විට තම නිවසේ තබාගෙන උවටැන් කිරීමට මෙහි දී වරම් නොලැබේ. සපැමිණි මහලු විය දුබල බව හමුවේ මෙහිදී බොහෝ විට මතුවන්නේ ඒකචාරී හුදකලා බවක් අත්විඳීමට ය. වාසය පිණිස මෙතරම් පතිරූප දේශයක් මිහිපිට තිබේද යන්න කල හොඳ දා බැලූ බැල්මට හැඟී යන්නකි.
එසේ වුවද මවුබිම හැර සංක්‍රමණය වූ බොහෝ දෙනෙකුට ජීවිතයේ සැදෑ සමය ගෙවන්නට සිදුවන්නේ අනුන්ගේ නවාතැනක බව ද පෙනී යයි. කුරුප්පු මහතා අපට පසක් කර දෙන සත්‍යය ද මෙය යි.
ශෝචනීය හුදකලාව ශ්‍රී ලංකාවේ සිටියා නම් සිදු නොවන්නක් බව මගේ මිය ගිය බිරිඳ, කුරුප්පු මහතා මෙල්බර්නයේ දී වරෙක හමු වූ අවස්ථාවක සැලකල බව තම පොතක ද මෙතුමා ලියා ඇත. එදවස කැලණි පාලම අසලින් ආරම්භ වී මීගමුව දක්වා හැමිල්ටන් ඇළ හා මීගමු කළපුව ඔස්සේ බෝට්ටුවක නැඟී අප ගිය ගමනක තොරතුරු ද ඔහු මගේ මතකයට නඟනු ලැබීය. එය නත්තල් සමයේ කැරොල් ගී ගයමින් ගිය පාරු පෙරහරට පළමු සිදුවූ පෙරහුරු ගමනකි.
මායා මාවතේ සෑම උදෑසනම සුවතා පතා සෙමෙන් ඇවිද යන එන අසල්වැසියාගේ රූපකාය මගේ ස්මරණයට ඇදී එයි. ඔහුගේ සක්මන් මළුව මායා මාවතේ එක් කොනෙක සිට කිරිල්ලපොන හංදියේ ලයන් බේකරිය දක්වා වැටී තිබුණකි.
කෙසේ වුව ද ඔහුට මෙදවස තම දෙපා වාරුවෙන් ඇවිද යා නොහැකි ය. ඔහු අපෙන් සමුගැනීමට තම කුටියේ දොරටුව දක්වා පසු ගමන ආවේ දෙඅත් වාරුවක ආධාරයෙනි. අමාරුවෙන් දෙඅත් වාරුවට බරදෙන විට ද උපහාස රසයක් මවමින් ඔහු කීවේ කාර් එකේ සුක්කානම අතට ගන්න තමා සූදානම් වන බවකි.
සහෘදයා කුටියේ දොරකඩ අසල දී අපෙන් සමුගත්තේ උණුසුම් සුසුමක් ද හෙලමිනි.
මායා මාවතේ දී මා දුටු දයාදර රූපකාය දර්ශන පථයෙන් ක්‍රමයෙන් වියැකී යයි. තම කවුළු දොරින් අප යන මාවත දෙස ඔහු තවමත් බලා හිඳී.
ගත සවිබල දුබල වුවද ඔහුගේ සිත තවමත් එදා මෙන් ම සවිමත් ය. පෑන පන්හිඳ අසිපතක් සේ තවමත් මුවහත් ය. ඔහුට දීර්ඝායු පතමි.
======================================================================
ලාංකිකයකු වූ ඩී.බි. කුරුප්පු පසුගිය 23 වැනිදා ඔස්ට්‍රේලියාවේ මෙල්බන් නුවර රෝහලකදී මිය ගියේය.
මේ සටහන ඇස ගැටුණු වහාම ඩී.බි. කුරුප්පුව මොනව වුණාම අපට මොකදැයි අලුත් පරපුරේ කෙනෙක් අසන්නට පුළුවන. ඒ අලුත් පරපුර ඩී.බි. කුරුප්පු ගැන හාංකවිසියක්වත් නොදන්නා නිසාය. ඒත් ‘පනහේ’ කණුව පැනගත් අපේ පරම්පරාවේ ‘මැංචෝසන්ගේ චාරිකා’ පරිවර්තන කෘතිය මතක ඇති අයකුට නම් ඩී.බි. කුරුප්පු නම කෙසේවත් අමතක විය නොහැකිය. ඩී.බි. පරිවර්තනය කළ ‘මැංචෝසන්ගේ චාරිකා’ ඒ තරමටම රසවත්ය.
මැංචෝසන්ගේ චාරිකා කොතරම් රසවත්ද ඩී.බි. කුරුප්පුගේ සැබෑ ජීවිත පුවතද ඒ තරටම නැතිනම් ඊටත් වඩා රසවත් බව බොහෝ සිංහල පාඨකයන් දැන ගත්තේද ‘හැන්දෑවට පායන හිරු’ නම් වූ ඔහුගේ ජීවිත අත්දැකීම් පාදක කරගත් කෘතිය 2005දී මුද්‍රණයෙන් එළිදැක්වූ පසුය.
1962දී පාඨකයන් අතට පත්වූ කරුණාසේන ජයලත්ගේ ‘ගොළු හදවත’ නවකතාව එවකට තරුණ පෙම්වතුන්ගේ බයිබලය බඳු විය. එදා මතු නොව අදත් ගොළු හදවත සිංහල පතපොත කියවන තරුණ තරුණියන් අතනොහරින පොතකි. එහි එන සුගත් වීරසේකර ලාංකීය සමාජයේ පරාජිත පෙම්වතාගේ ප්‍රතිමූර්තියක් සේ නිර්මාණය වූ චරිතයක් විය.
1927 දෙසැම්බරයේ හොරණදී උපත ලබා 2017 ජුනි 23 වැනිදා ඔස්ට්‍රේලියාවේ මෙල්බන් නුවරදී අවසන් ගමන් ගිය ඩී.බි. කුරුප්පු කෙනකු ගැන ලියන්නට පටන් ගෙන කරුණාසේන ජයලත්ගේ ‘ගොළු හදවත’ ගැනත් සුගත් ගැනත් දම්මි ගැනත් ලියන්නේ උමතුවෙන්දැයි නැතිනම් වැරදීමකින්දැයි කෙනෙක් හිතන්නට පුළුවන.
ඒත් උමතුවක්වත් වැරදීමක්වත් නැත. ඒ ඩී.බි. කුරුප්පු ගොළු හදවතත් සුගත් දම්මි කරුණාසේන ජයලත්, පද්මා හොරණ තක්ෂිලාව මේ සියල්ල එක හුයක ඇමිණූ මුතු සේය. ‘මැන්චෝසන් චාරිකා’ වගේම ‘ගොළු හදවත’ වගේම ඩී.බි. කුරුප්පුගේ ජීවන තොරතුරුත් පැණිවලින් ඇනූ රස කැවිල්ලක් තරමටම රසවත් යැයි මුලින්ම කීවේ ඒ නිසාය.
හොරණ උපන් දොන් බෝල්ඩ්වින් කුරුප්පු නොහොත් ඩී.බි. කුරුප්පු මුලින්ම අකුරු කළේ හොරණ තක්ෂිලාවෙනි. පසුව වැඩිදුර අධ්‍යාපනය සඳහා කොළඹ නාලන්දා විද්‍යාලයට ඇතුළත් වූයේය. ඉංග්‍රීසි මළපොතේ අකුරක් නොදත් දෙමාපිය යුවළකට දාව උපන් ‘ඩී.බි’ එවකට 1940 ගණන්වලදී කනිෂ්ඨ හා ජ්‍යෙෂ්ඨ පාඨශාලා (ජේ.එස්.සී. සහ එස්.එස්.සී.) හැර යාමේ විභාග දෙකේදීම ඉංග්‍රීසි මාධ්‍යයෙන් පෙනී සිට ලංකාවෙන්ම පළමුවැනියා ලෙසට කප් ගැසුවේය.
හොරණ තක්ෂිලාවේ සිටියදී එහි එකම වසරේ ඩී.බි.ට අල්ලපු පන්තියේ සිටි ඩී.කේ. ජයලත් සමග එක්වී සමසමාජ පක්ෂයට ලැදිව දේශපාලන කටයුතු කළේය. පසු කලෙකදී නවකතාකරුවකු, පුවත්පත් කලාවේදියකු, චිත්‍රපට විචාරකයකු ලෙස කරුණාසේන ජයලත් නමින් රට පුරාම ප්‍රකට වූයේ මෙකී ඩී.කේ. ජයලත්ය.
හොරණ තක්ෂිලාවෙන් කොළඹ නාලන්දාවට පැමිණි ඩී.බි. කුරුප්පු නාලන්දාවේ දේශපාලනයට වඩා නැඹුරු වූයේ සාහිත්‍යය හා කලාව දෙසටය. පසුකලෙක පුවත්පතකට කියා තිබුණ පරිදි ඔහු කවියට නැඹුරු වූයේ නාලන්දාවේ ඔහුට සිංහල ඉගැන්වූ සිරි අයියා ලෙස රට ප්‍රකට යූ.ඒ.ඇස්. පෙරේරා මහතා නිසාය. එදා නාලන්දාවේ ඔහුගේ සමකාලීනයන් වූයේ චිත්‍රානන්ද අබේසේකර, රිජ්වේ තිලකරත්න, රවීන්ද්‍ර රූපසේන, දොස්තර හඩ්සන් සිල්වා, අති දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයකු වූ ස්ටැන්ලි ජයසිංහ, කරුණාරත්න අබේසේකර වැනි ජනප්‍රිය චරිතයන්ය.
1949 වසරේදී ලංකා විශ්වවිද්‍යාලයට ඇතුළත් වූ ඔහු විශ්වවිද්‍යාලයෙන් පිටවූ වහාම වෘත්තීය ජීවිතය අරඹන්නේ ගුරුවරයකු හැටියටය. ඒ කොළඹ ආනන්ද විද්‍යාලයේ ගුරු මණ්ඩලයට එකතු වීමෙනි. ඩී.බි. කුරුප්පු ආනන්ද ගුරු මණ්ඩලයට එකතු වන විට විදුහලේ ප්‍රධානියා වූයේ මෙරට කීර්තිමත් අධ්‍යාපනඥයකු වූ එච්.එල්. මෙත්තානන්ද මහතාය. කොටගම වාචිස්සර හිමි, හෙට්ටිමුල්‍ලේ වජිරබුද්ධි හිමි, ජී.ඩී. වීරසිංහ, ඒ.වී. සුරවීර. ඇස්.කේ.කේ. සූරියආරච්චි, ආර්. පල්ලවෛල, ජේ.ආර්.පී. සූරියප්පෙරුම ආදීහු ඔහු සමග එකම ගුරු මණ්ඩලයේ සේවය කළෝය. ඔහු එහි සිංහල ගුරුවරයා විය.
ආනන්දයේ උගන්වන කාලයේ ඔහුගේ හොඳම ගෝලයන් කීප දෙනකු ගැනද ඔහු පසු කාලීනව සඳහන් කොට තිබුණි. ඔවුන් අතර අද රටේ ප්‍රකට චරිත වන මහාචාර්ය ජේ.බි. දිසානායක, මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර, ගීත රචක බණ්ඩාර කේ. විජේතුංග, කරු ජයසූරිය, ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න, දොස්තර උපුල් විජයවර්ධන. බුද්ධදාස බෝධිනායක, වෛද්‍ය ගාමිණී විජේසේකර, ආචාර්ය ඩී.බි. නිහාල්සිංහ, විජේරත්න වරකාගොඩ, ධම්මික අමරසිංහ වශයෙන් නම් වැලක්ම එහි විය.
මේ අතරින් මහාචාර්ය ජේ.බි. දිසානායකයන් ඩී.බි. කුරුප්පුගේ හොඳම ගෝලයෙක් විය. ජේ.බි. පාසල් වියේදීම රාවණා නමින් වේදිකා නාට්‍යයක් රචනා කළේය. එය ආනන්ද විද්‍යාලයීය කුලරත්න ශාලාවේදී වේදිකාගත වූයේ 1957 අගෝස්තු මාසයේ දිනකදීය. එම නාටකය ගැන සඳහන් කරමින් ජේ.බි. දිසානායක මහාචාර්යවරයා පසු කලෙක කියා තිබුණේ මෙවැනි කතාවකි.
“කුරුප්පු සර් වගේ ගුරුවරයෙක් අපට ලැබුණේ අපේ වාසනාවට. හොඳ පොත් කියවන්න, හොඳ වේදිකා නාට්‍ය බලන්න එතුමා අපව පෙලඹුවා. මනමේ මුලින්ම වේදිකා ගත වුණේ 1956 අවුරුද්දේ. එවකට මම හිටියේ විශ්වවිද්‍යාල ප්‍රවේශ පන්තියේ. මනමේ වේදිකාගතවූ දෙවැනි දිනයේම කුරුප්පු සර් මා ඇතුළු තවත් කීප දෙනෙක් මනමේ බලන්න එක්කරගෙන ගියා ඔහුගේ වියදමින්ම. නට්‍යය නැරඹීමෙන් පසුව දවසක අප නිදහසේ කතා කරමින් සිටින විට කුරුප්පු සර් මගෙන් ඇහුවා නරකද ජේ.බි. ඔය වගේ නාට්‍යයක් ලිව්වොත් කියලා. මම ‘රාවණ’ නාට්‍යය ලිව්වේ ඒ පෙලඹවීම මතයි.
පසුකලෙක ආනන්දයෙන්ද ගුරු වෘත්තියෙන්ද සමුගත් ඩී.බි. කුරුප්පු රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුවේ කර්මාන්ත අමාත්‍යාංශයේත් සිමෙන්ති සංස්ථාවේත් මහජන බැංකුවේ හා ජාත්‍යන්තර කළමනාකාරිත්ව ආයතනයේත් උසස් තනතුරු දැරුවේය. ඒ අතරම දිනමිණ පුවත්පතට නිරන්තරයෙන්ම නාට්‍ය හා කලා විචාරයන්ද සැපයුවේය. ‘මැන්චෝසන් චාරිකා’ වෙන් පටන් ගෙන පොත් පනස් පහක් පමණ ලියා ඇත්තේය.
මෙවන් අතීතයක් ඇති ඩී.බි. කුරුප්පු පසු කාලීනව ඔස්ට්‍රේලියාවේ පදිංචියට ගියේය. 2005 වසරේදී ඔහු ලංකාවට පැමිණියේ ඔහුගේ ජීවිත කතාවද ලියාගෙනය. ‘හැන්දෑවට පායන හිරු’ ඒ ජීවිත කතාවයි. ඒ පොතෙන් ඔහු අපූරු තොරතුරක් හෙළි කළේය.
‘තක්ෂිලාවේ මා ඇතුළු වුණු පන්තියේම දැරියක් මා කෙරෙහි විශේෂ අවධානයක් යොමු කළාය. එය පැහැදිලිවම අනේයා්න්‍ය ප්‍රේමයක් බවට පරිවර්තනය වූයේ අනුක්‍රමයෙනි. පන්තියේදී හැරෙන්නට අප දෙදෙනාට මුණගැසෙන්නට අවසරයක් නොවීය. පන්තිය තුළදී වුවත් පෙම්බස් දෙඩීමේ ඉඩකඩක් කිසිත් නොතිබිණි. අප එබඳු ඉඩකඩක් නොසෙව්වාද විය හැක. අවම වාචික සන්නිවේදනයක් සහිතව ක්‍රියාත්මක වූ අපගේ බැඳීම අනුක්‍රමයෙන් තහවුරු වන හැටි අප දෙදෙනාම අවබෝධ කර ගතිමු. පන්තියේ ළමයිද වටහා ගත්හ. එහෙත් එය කිසිදු ආන්දෝලනයකට තුඩු නොදී හිමින් සීරුවේ නිහඬව ක්‍රියාත්මක වූ ප්‍රේම සම්බන්ධයක් විය.”
එහෙත් කුරුප්පු සඳහන් කරන තරමටම එය සැඟවූ ප්‍රේමයක් නම් නොවීය. ඒ බැව් ඔහු විසින් පෙර කී ජේදයෙහිම පහතින් මෙසේ සඳහන් කර තිබේ.
“මා සිතුවාටත් වඩා දුරක් අපේ පෙම් පුවත පැතිරී තිබූ බව මා දැන ගත්තේ අහම්බෙනි. විදුහලේ පැවැති විවිධ ප්‍රසංගයක් නරඹන්නට මා සමග යාමට මගේ ඥාති සහෝදරයකු වූ සුදු අයියා කැමැත්තෙන්ම ඉදිරිපත් විය.”
මෙකී ඥාති සහෝදරයාගේ ගමනේ සැබෑ අරමුණ හෙළිවන්නේ විවිධ ප්‍රසංගය නරඹා ආපසු එන ගමනේදීය. ‘මම ආවේ මල්ලිගේ පෙම්වතිය බලන්න” ඥාතියා කියන්නේය.
මේ යුවතිය නමින් පද්මා ලාලනීය. කුරුප්පු පද්මා ලාලනියට සිතින් පෙම් කළත් ඇය හා නිදහසේ කතා කරන්නට හැකිවී ඇත්තේ ඔහු හොරණ තක්ෂිලාවෙන් සමුගෙන කොළඹ නාලන්දාවට යාමට පෙර දිනයේදීය.
පද්මාට හිත ගියත් කුරුප්පු තම ප්‍රේමය හදවතේම ගොළු කරගෙන සිටියේය. ඒ තම අදහස ඉටුවේද නැද්ද යන දෙගිඩියාවයි.
“කොතෙක් හිත ගියද මෙය ඉටුවෙන්නට ඉඩක් නැත යන සැකයක් හා බියක් මට තිබුණේය. ඇය නැවතී සිටියේ ඇගේ පුංචි අම්මාගේ නිවසේය. අම්මාගේ මහ ගෙදරය. තක්ෂිලාවෙන් වැඩිදුරක නොවීය. ඇගේ බාල සොහොයුරියද එහි නැවතී තක්ෂිලාවට ආවාය. සිකුරාදා සවස ඇගේ පියාගේ කාරය විදුහල ළඟටම එන්නේය.
පාසල් ඇරී දැරියන් දෙදෙනා කෙළින්ම ගියේ සිය නිවසටය. නිවසද හොරණ සිට
සැතපුම් පහක් හයක් දුරින් පිහිටියකි. ප්‍රසිද්ධ වෙද මහතකු වූ ඇගේ පියා ධනවතකු බවත් දියණියන් ගැන දැඩි විමසිල්ලෙන් සිටින බවත් මම දැන ගතිමි. ඔවුන්ගේ නිවස පසු කොට මා කීප වතාවක්ම බසයෙන් ගොස් ඇතත් එබඳු නිවසකට ගොඩවදින්නට පවා බියක් මට ඇති වූයේ එය දුටු පළමු වතාවේය.” යනුවෙන් කුරුප්පු සිය කෘතියේ 82 වැනි පිටුවේ සඳහන් කොට තිබේ.
කුරුප්පුගේ නිවස ගැන පද්මා කරුණාසේන ජයලත්ගෙන් විමසූ බවත් කුරුප්පු ජීවත් වන්නේද තරමක් ලොකු නිවසක බව ජයලත් පවසා සිටි බවත් එහිම තවත් තැනක සඳහන් වේ” ඔහු (ජයලත්) ඇය ඉදිරියේ ලස්සන ගෙයක් මවා පෙන්වන්නට ඇතැයි තමාට සිතුණ බවත් එහිම ඔහු සටහන් කොට ඇත්තේය.
කරුණාසේන ජයලත් (එකල ඩී.කේ. ජයලත්) උගත්තේ කුරුප්පුගේ පන්තියට අල්ලපු පන්තියේය. පන්ති දෙකක ඉගෙන ගත්තත් කලින් සඳහන් කළාත් මෙන් දෙදෙනා ගජ මිතුරෝය.
“කරුණාසේන මගේ ගෙදර සතියට දින කිහිපයක් මා සමග ගත කරන බව එම දැරිය දැන සිටියාය. මෙම විපරමට හේතුව කරුණාසේනද දන්නේය. කරුණාසේනට ඇය සමග කතා බහ කරන්නට ඉඩකඩ තිබුණේය. අපේ පන්තියේ දැරියන් ඔහුගේ පන්තියේ දැරියන් සමග එකතු වී කරන කතාබහවලට ඔහුත් බොහෝ විට හවුල් විය. කොටින්ම ඔහු දැරියන් අතර ජනප්‍රිය ශිෂ්‍යයකු විය. ඒ අතින් මා පසුබාන්නකු වීමි.”
දැරියන් සමග මෙසේ නිදැල්‍ලේ කතාබහ කරන අතරවාරයේ කරුණාසේනගේ හිත එක් දැරියක් කෙරේ ඇදී ගියේය. ඒ මා සිත් බැඳගත් දැරියම බව තබා ඔහු දැරියකට පෙම් බඳින බවක්වත් මම නොදත්තෙමි. ඒ පෙම පටන් ගත්තේ කෙදිනද යන්නත් මා නොදන්නා රහසක් ලෙසට තබා ගන්නට කරුණාසේන සමත් විය. මා මේ සියල්ල දැන ගත්තේ ගහෙන් ගෙඩි එන්නාක් වාගේය.
ගැටවර වියේ වූ කුරුප්පුලා කරුණාසේන ජයලත්ලා ඇතුළු කල්ලිය එදා ‘වළ බැස්ස’ තැන හොරණ බෝ ගහ යටම වූ කළු මහත්තයාගේ පොත් සාප්පුවයි. පොත් සාප්පුවේ කළු මහත්තයා මේ කල්ලියේ ගජ මිතුරෙකි. දිනක් කළු මහත්තයා කරුණාසේන දෙන්න කීවා යැයි කියා කුරුප්පු අත කවරයක් තැබිය. එහි වූයේ පිටු ගණන් දිගට ලියූ ලිපියකි.
පෙම් බැඳුම ගැන පමණක් නොව අනපේක්ෂිත ආකාරයට එය හමාර කිරීමට සිදුවීමෙන් ඇතිවූ චිත්ත වේදනාවද ලිපියෙහි දීර්ඝ වශයෙන් විස්තර කැරිණි. ලිපියේ අඩංගු දේ දැන් මට මතක නැත. එහෙත් කරුණාසේනගේ සන්තාපය එහි කුළුගැන්වී තිබුණි.
මෙකී තුන්කොන් ප්‍රේමය කුරුප්පුට එතෙක් රහසක්ව තිබුණත් කුරුප්පු කරුණාසේන දෙදෙනාගේම ප්‍රේමයට ලක්වූ දැරියට නම් එය රහසක් නොවීය. කුරුප්පුගේ මෙම සටහනින් එය පැහැදිලි වේ.
“අප දෙදෙනාගේම ප්‍රේමයට ලක්වූ දැරියට එය රහසක් නොවීය. තමා සමග සුහදව කතා කරන ඇය තුළද තමා කෙරෙහි විශේෂ බැඳීමක් ඇතැයි කරුණාසේන අවංකවම සිතන්නට ඇත. කෙසේ හෝ දීර්ඝ විස්තරයකින් මට මෙය නිවේදනය කරන්නට හේතු වූයේ විකල්ප දෙකකින් එකක් තෝරා ගන්නැයි ඔහු කළ ඉල්ලීමට අනුව ඇය දැක්වූ තීරණයයි. එයට ඔරොත්තු දෙන්නට කරුණාසේන අපොහොසත් වූ සැටියකි ලිපියෙන් කියැවුණේ.
වේදනාව දරාගෙනම ඔහු එක් දෙයක් පැහැදිලි කර තිබිණි. දැරියගේ තීරණය භාර ගන්නා අතරම අප දෙදෙනාට සුබපතන බවද එහි සඳහන් විය. කටින් කියන්නට බැරි හරිය කියවන්නට මට කල්දී කරුණාසේන පොත් සාප්පුවට ගොඩ වැදුණේය. මා ළඟම එහි වූ බංකුවක ඉඳගත් ඔහු එදා ඇඬුූ ඇ¾ඩිල්ල මගේ හිතේ අදත් මැවී පෙනෙයි. දෑත් මිට මොළවාගෙන සිටි ඔහුගේ පිටි අල්ල පුරා තැවරුණු කඳුළුවල සුවඳ දැනුත් දැනෙන්නා සේය. ඒ ගැන මම පුදුම නොවෙමි. කරුණාසේන මට වඩා හැඟීම්බර පුද්ගලයෙකි.
1962 වසරේදී මුද්‍රණයෙන් නිකුත්ව ඒ වසරේ නිකුත් වූ හොඳම සාහිත්‍ය කෘතියට හිමි සම්මානයෙන්ද පුද ලද ඒ යුගයේ මතු නොව අදත් තරුණ තරුණියන් අතර අතිශය ජනප්‍රිය පසු කලෙක සිනමාවටද නැගුණු ‘ගොළු හදවත’ කරුණාසේන ජයලත් පාදක කරගත්තේ මෙකී ත්‍රිකෝණ ප්‍රේමයයි.
මේ කියන කාලයේදීම තක්ෂිලාවෙන් සමුගත් ඩී.බි. කුරුප්පු විශ්වවිද්‍යාල ප්‍රවේශය හැදෑරීම සඳහා කොළඹ නාලන්දාවටත් කරුණාසේන ජයලත් නුගේගොඩ නාලන්දා ඇකඩමියටත් පද්මා ලාලනී කොළඹ විශාඛා විද්‍යාලයටත් ඇතුළත් වූවෝය.
දර්ශනයෙන් දුරස් වීමත් සමගම ඔවුන් අතර වූ බැඳීමත් දුරස් වූ සෙයකි.
කරුණාසේන ජයලත් පසු කලෙක හොරණ තක්ෂිලාවේම උගත් තරුණියක වූ ප්‍රේමා සමග විවාහ වූයේද දැඩි ප්‍රේම සටනකින් පසුවය. කුරුප්පුද වයස තිස් අටේදී එනම් 1965දී වෙනත් තරුණියක හා විවාහ වූයේය. මේ දෙදෙනාගේම ප්‍රේමය ඉලක්කයවූ පද්මා ලාලනිය පසු කලෙක පද්මා ගුණරත්න වූවාය. කෙසේ වුවත් මේ තුන්කොන් ප්‍රේමය දැන් සදාකාලික ප්‍රේම වෘත්තාන්තයක් වී හමාරය.
මේ පිළිබඳව කුරුප්පු සිය හැන්දෑවට පායන හිරු කෘතියේ සටහන් කර ඇත්තේ ‘අසාර්ථකවූ ප්‍රථම ප්‍රේමය කරුණාසේනගේ ප්‍රතිභා ශක්තිය ප්‍රබෝධ කරන්නට සමත් වූ බව ප්‍රකට වූයේ 1962 වසරේ නිකුත් වූ ‘ගොළු හදවත’ තුළින්ය. ‘ගොළු හදවත’ වස්තු බිජය සපයන්නට හවුල්වීම ගැන මා සතුටු වූයේ දැයි මටම සිතා ගන්නට බැරිය.”
හිතින් පෙම් කළත් තමා පෙම් කළ දැරිය සමග කතාබහ කරන්නට අවස්ථාවක් ලැබුණේ තක්ෂිලාවෙන් ඉවත්වීමට පෙර දිනයේදී බව කුරුප්පු අන් තැනක සඳහන් කළේය. තක්ෂිලාවෙන් ගිය ඔහුට ඉන්පසු ඇයව හමුවූයේ ඉන් වසර පනස් හයකට පසුවය. ඒද ලංකාවේදී නොව ඔස්ට්‍රේලියාවේදීය. ඒ වන විට කුරුප්පු ද ඔස්ට්‍රේලියාවේ පදිංචියට ගොසිනි. පද්මා ගුණරත්න වූ පද්මා ලාලනිය ඔස්ට්‍රේලියාවට ගියේ සිය මිනිබිරිය බැලීමටය. දෙදෙනා වසර පනස් හයකට පසු මුණගැසුණේ එසේය. එම හමුවීම ඩී.බි. කුරුප්පු සටහන් කොට ඇත්තේ මෙලෙසිනි.
“ගොළු හදවත” චිත්‍රපටයේ දම්මිගේ චරිතය නිරූපණය කළ අනුලා කරුණාතිලක විවාහ වූයේ මගේ හිතවතකු වූ ආනන්දයේ ආදි ශිෂ්‍ය දයා රණවීර සමගය. දයා රණවීර කැඳවාගෙන මා ගිය ගමනට සහභාගි වූ අනුලා දැක කලබල වූ ගැටව් රෑනක් ‘දම්මි දම්මි” කියමින් රිය පසුපස දුවන්නට වූ විට මම නිහඬ විනෝදයක් ලද්දෙමි.
රණවීර යුවළ මගේ කතාව දැන සිටියේ නැත. මුල් දම්මි සමග තක්ෂිලාවේදී නිදහසේ කතා කරන්නට මට ඉඩක් ලැබුණේ අස්ව යන්නට කලින් දිනයේය. දෙවැනි වතාවට එවන් අවසරයක් ලැබුණේ ඉන් වසර පනස් හයකට පසුවය. සිය මිනිබිරිය බලන්නට ඇය සිඩ්නි නුවරට ආ විටය. ඒ වන විට දම්මිලා දෙදෙනාම මිතුරියන් බවට පත්ව සිටියද මුල් ත්‍රිකෝණය බිඳුණු පසු අප දෙදෙනා අතර ඉතිරි වූ සෘජු රේඛාව අනුක්‍රමයෙන් මැකී ගියේය.
ගැටවර වියේ තමන් වසඟ කළ පාසල් ප්‍රේමය රටක් වසඟ කළ නිර්මාණයක් බවට පත් කළ කරුණාසේන ජයලත් මීට වසර කීපයකට පෙර අපෙන් සදහටම සමු ගත්තේය. ජයලත්ට ගොළු හදවත ගොතන්නට පාදකවූ තවත් චරිතයක් වූ ඩී.බි. කුරුප්පු ද අප අතර දැන් නැත. ඒත් ඔවුන් මැවූ ගොළු හදවත නම් තවත් කලක් පවතිනු ඇත.
- උපුටා ගැනීමකි.
සුනිල් සරත් පෙරේරා
උපාලි තිලකරත්න